
අපගේ දැක්ම
"ඵලදායී සහ ගුණාත්මක සේවාවක් තුලින් අප කොට්ඨාශයේ ජන ජීිවිතය සමෘද්ධිමත් කිරීම"අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය සහ ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර , සැලසුම් සහගත ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම"
හැදින්වීම
සුරම්‍ය වූ මිහිමඬලක සුන්දරත්වය ජන්මයෙන් උරුම කරගත් ශ්‍රී ලාංකීය අපහට ආවේණිගත චර්යා රටාවන්, භාෂා රටාවන්, අක්ෂර රටාවන්, ආහාර පාන රටාවන්, කෘෂිකාර්මික රටාවන් තුලින් වෙනත් රටවල් හා සංසන්දනය කළ නොහැකි ඉතිහාසයක් හා ප්‍රෞඩත්වයක් උරුමව ඇත. දළඳා වහන්සේගේ උරුමයත් සමඟ රාජධානි ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වු අතර , එම රාජධානි අතර කුරුණෑගල රාජධානියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි.කුරුණැගල රාජධානියේ ඉතිහාසය රාම රාවණා කතා පුවත, විජයාවතරණය හා ජනාවාස ඉදිවීම දක්වා දිවයන අතර පුරාණ ඓතිහාසික වටිනාකමක් හිමි වූ ස්ථානයකි..
එවන් වූ පසුබිමකින් සමන්විත කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ඓතිහාසිකත්වය තවදුරටත් මතුකරන්නා වූ ස්ථානයන් අතර ගනේවත්ත ප්‍රාදේශීය ලේකම්. බල ප්‍රදේශයද මහත් අභිමානනීයත්වයකින් වචන කළ හැකි ස්ථානයකි. විජයගේ පැමිණීමත් සමඟ ජනාවාස ඇති කරගත් ස්ථාන අතුරින් අප බල ප්‍රදේශයට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි.
දැදුරු ඔය ප්‍රමුඛ ඇලවේළි, බතලගොඩ ජලාශය වැනි වාරිකර්මාන්තයන්ගෙන්ද ප්‍රධාන වශයෙන් කෘෂි ආර්ථිකයකින්ද යුත් රම්‍ය වූ භූමි භාගයක් වන මෙම ප්‍රදේශය. සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙන් පෝෂණය වූ , සියළුම ජන වර්ගයන් අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත් වන ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය.
- පිහිටීම
ගනේවත්ත ප්‍රා.ලේ. බල ප්‍රදේශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැගෙනහිර අර්ධයෙහි පිහිටා ඇති අතර
උතුරින් - මහව ප්‍රා.ලේ කොට්ඨාසයටද කිඹුල්වානා ඔය හා හක්වටුනා ඔයද
නැගෙනහිරින් - කිඹුල්වානා ඔය හා ඉබ්බාගමුව ප්‍රා.ලේ. කොට්ඨාශයද
දකුණින් හා බටහිරින් - දැදුරු ඔයද මායිම්ව ඇත.
නිරපේක්ෂ පිහිටීම උතුරු ග්‍රිඩ් අංක 263 – 283 හා නැගෙනහිර ග්‍රිඩ් අංක 145 – 165 අතර පිහිටා ඇත. ප්‍රමාණය වර්ග කි.මී. 149.74 ( හෙක්ටයාර් 149741 කින්) ය
- මැතිවරණ බල ප්‍රදේශය
ගනේවත්ත ප්‍රා.ලේ. බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හිරියාල මැතිවරණ කොට්ඨාශයට අයත් අතර පළාත් පාලන කටයුතු සම්බන්ධයෙන් ඉබ්බාගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත්ය. එසේ වුවද කාර්යභාරයන්ගේ පහසුව පිණිස ප්‍රාදේශිය සභා උප කාර්යාල දෙකකින් සමන්විතව ඇත. එනම් හිරිපිටිය සහ කුඹුක්ගැටේ ප්‍රාදේශිය සභා උප කාර්යාලයන් වේ. කුඹුක්ගැටේ උප කාර්යාලයට නැගෙනහිර හා උතුරු කොටසේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 12 ද අනෙකුත් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 30 ද හිරිපිටිය උප කාර්යාලයෙන්ද පාලනය වෙයි.
- පොලිස් බල ප්‍රදේශ
මීට අමතරව කොට්ඨාශයේ ආරක්ෂාව උදෙසා කුඹුක්ගැටේ හා වැල්ලව පොලිස් ස්ථාන කටයුතු කරයි. කොට්ඨාසයේ නැගෙනහිර කොටසේ ග්‍රා.නි.කොට්ඨාශ 14ක් කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයටද, ඉතිරි 28වැල්ලව පොලිස් බල ප්‍රදේශයටද අයත්ය.
- ඓතිහාසික පසුබිම
අප කොට්ඨාසයෙහි බෞද්ධ ආගම මුල්කොටගත් අනෙකුත් ආගමික ස්ථානද අධ්‍යාපනික කටයුතු සඳහා පාසල්ද, රාජ්‍ය ආයතනද ව්‍යාප්තව ඇත. ඒ අනුව කොට්ඨාසයට අයත් බෞද්ධ විහාරස්ථාන 43 ක්ද මුස්ලිම් පල්ලි 7 ක්ද, දෙව් මැදුරු 2 ක්ද ප්‍රධාන පාසල් 6 ක්ද රාජ්‍ය ආයතන 19 ක්ද පිහිටුවා ඇත. මීට අමතරව කොබ්බෑවැහැර වෙද පරපුරට අයත් දේශීය වෛද්‍යවරුන් හා සර්වාංග, සර්ප විෂ, ගව රෝග, හන්දි රෝග, ගෙඩි, වණ, පිළිකා වැනි අංශයන්ගෙන් හෙළ වෙදකම ලොවට දායාද කරන්නා වූ වෛද්‍යවරු රාම රාවණා යුගයේ පටන් ඖෂධීය සුවය ජනී ජනයාට ලබා දෙමින්අප කොට්ඨාශයට අනගි මෙහෙවරක් කරන්නට වෙර දරණ පිරිසක් ලෙස හැඳින්විය හැක.
එවන් වූ විශේෂිත බවකින් යුත් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ඓතිහාසික වටිනාකමකින්ද යුක්ත බව ඓතිහාසික ග්‍රන්ථ අනාවරණය කරයි. ලක්දිව ලිඛිත ඉතිහාසයක් ආරම්භ වීමට පෙර සිට ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඉතිහාසයක් අපට උරුමව පවතියි. යක්ෂ නාග ගෝත්‍රික මුල් ජනාවාස දැදුරු ඔය මිටියාවතේ තිබූ බවත් ගනේවත්ත, තඹගල්ල, නින්දගම දක්වා දැදුරු ඔය මිටියාවතින් ප්‍රාග් ඓතිහාසික සොහොන් කොත් හා යකඩ භාවිතය පිළිබඳව තොරතුරු හමුව ඇත.
මීට අමතරව අතීත පුරාවෘත්තයක් වන රාම රාවණා කතා පුවතෙන් රාම රාවණා යුද්ධයේදී හී පහර වැදී තුවාල වූවන්ට ප්‍රතිකාර කිරීමට හිමාලයේ සිට හනුමන්තා ගෙන ආ දුර්ලභ ඖෂධ වලින් යුතු දොළුකන්ද මහත් තේජසින් අද දක්වා දර්ශනය වෙයි. එසේම කුෂ්ඨ රෝගයක් සෑදී විජය කුමරු දොළුකන්දේ විසූ බවත් කුවේණියට පෙම් කරන ලද්දේ මුහුණට මුහුණලා සිටිමින් බවත් ජනප්‍රවාදයේ දැක්වෙයි. එනම් දොළුකන්දේ උසට සමාන වන්නට ගලපිට ගලක් තබාගත් බවත් එය කුවේණි ගල නමින් ප්‍රසිද්ධ වූ බවත් කියවේ. කුවේණියගේ වාස භවන වූයේ කුවේණිගලයි. ඇය ඇඳ සිටි සේලයෙහි නෙරිය බිම ගෑවෙන බැවින් ගල පිට ගලක් තබාගත් බවද නෙරිය වැටුණු ප්‍රදේශය නෙරියාව ලෙසත් ඉතිහාසීය තොරතුරු අනාවරණය කරයි. එසේම මෙම විජය කුවේණි කතා පුවතෙහි සිරසවත්ථුපුර එනම් සිරිය පැවති පිටිය හිරිපිටිය නමින්ද කුවේණියගේ උපකාරය මත යක් පරපුර හා සටන් වැදුණු විජය රජු ඔවුන් පරාජය කොට යක් සමූහයා විනාශ කළ ගණ වත්ත පසුව ගනේවත්ත වූ බවද ජනප්‍රවාද කියයි. හිස් හින්ඳ වූ වැව සින්දවැව හෙවත් හිඳවැවයි.
මීට අමතරව පණ්ඩුකාභය සේනාව සහිතව ගොස් මාමාවරුන් සමඟ සටන් කර හිස් ගසාදමා කඩුව සේදූ වැව නසාගල නමින් ප්‍රසිද්ධ වූ බවත් පණ්ඩුකාභය සේනාව සමඟ ජය පැන් පානය කළ ස්ථානය ජයපාගම ලෙස ව්‍යවහාර වූ බවත් වර්තමානයේ එය ජහපාගම නමින් හැඳින්වෙන බවත් කියවේ.
වළගම්බා රජු සතුරන්ගෙන් පැරදී වසර 12 ක් පමණ සැඟවී සිට ඇත්තේ ගනේවත්ත ප්‍රදේශයට ආසන්නවය. රජුට උපකාර කළ මහා තිස්ස තෙරුන් ගනේවත්ත රජ මහා විහාරයේ ලෙනක වැඩ සිටි බවත් කියවේ
අප කොට්ඨාශයේ ඓතිහාසිකත්වය විදහාපාන ස්ථාන ,
- අරංකැලේ ආරණ්‍ය සේනාසනය
- රන්ගිරිලෙන විහාරස්ථානය
- රන්කොත් ආරණ්‍ය සේනාසනය
- කළටුවාගම පුරාණ රජමහා විහාරය
- කසාගල පුරාණ රජමහා විහාරය
- ශ්‍රී සුමංගලාරාමය – ගනේ විහාරය
- කන්දේගම පුරාණ රජමහා විහාරය
- වදකහගල විහාරය
- පතහමුල්ල රජමහා විහාරය
- කහටගස්වල රජමහා විහාරය
- කෝම්බුව රජමහා විහාරය
- සප්පායම්ගල විහාරය
- වෙරළාගල රජමහා විහාරය
- වේරගල පුරාණ රජමහා විහාරය
- දොළුකන්ද
ගනේවත්ත, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස විකාශනය වීම ….......
ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර ග්‍රාමනිලධාරි වසම් 42 කින් සමන්විත වේ. මෙවන විට ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සියළුම ග්‍රාමනිලධාරි වසම් , ආරම්භයේදි ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයටම අයත්වු අතර පරිපාලන පහසුව සදහා 1990 වර්ෂයේදි ඉබ්බාගමුව සහ ගනේවත්ත වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට බෙදා වෙන් කරන ලදී.
මෙහි ආරම්භක ප්‍රාදේශීය ලේකම් වරයා වන්නේ එච්.එම්. ගුණතිලක මහතා වන අතර දැනට ප්‍රාදේශීය ලේකම් වරුන් 08 දෙනෙකු විසින් මෙහි රාජකාරි කටයුතු සිදුකර ඇත. වත්මන් ප්‍රාදේශිය ලේකම්වරිය ලෙස ආර්.එන්.එන්.එල් කරුණාරත්න මහත්මිය කටයුතු කරනු ලබයි.
මෙතක් ආ ගමන්මගේ නියමුවෝ...........
| 1 | එච්.එම්. ගුණතිලක මහතා | |
| 2 | ජයන්ත විජේරත්න මහතා | 1990-1995 |
| 3 | එස්.පී ජයතිලක මහතා | 1995-1998 |
| 4 | ඩබ්.එම්.වන්නිනායක මහතා | 1998-2000 |
| 5 | එම්.ඒ.එස්.මෛත්‍රිරත්න මහතා | 2000-2002 |
| 6 | එච්.එම්.තිලක බණ්ඩාර මහතා | 2002-2011 |
| 7 | ඩී.පී.සී.උදය කුමාර මහතා | 2011-2017 |
| 8 | ආර්.එන්.එන්.එල් කරුණාරත්න මිය | 2017-මේ දක්වා |
















